ඔබ දන්නවා අප පෘථිවියට සඳක් නැතිනම් චන්ද්රයෙක් ඇත. තාරකා විද්යාත්මකව ග්රහයකුට ඇති චන්ද්රයා හැඳින්වෙන්නේ උප ග්රහයකු ලෙසය. එසේනම් පෘථිවියට ඇත්තේ එක් උප ග්රහයකි. අඟහරුට පුංචි ප්රමාණයේ උප ග්රහයෝ දෙදෙනෙකි. ෆෝබෝස් (Phobos) සහ ඩීමෝස් (Deimos) යනු ඒවාය. මේවා අපේ සඳ මෙන් රවුම් හැඩැති උප ග්රහයන් නොවෙයි. ෆෝබෝස් සහ ඩීමෝස් බැලූ බැල්මට අක්රමවත් හැඩැති යෝධ අල බෝල දෙකක් වැනිය.
මෙම උප ග්රහයන් දෙදෙනා අනෙක් උපග්රහයන්ට සාපේක්ෂව ප්රමාණයෙන් කුඩා යැයි කීවත්, ෆෝබෝස්ගේ පළල කිලෝමීටර 20 ක් පමණ වන අතර, ඩීමෝස්ගේ පළල කිලෝමීටර 10 කි. 1877 වසරේ අගෝස්තු මාසයේදී ඇසෆ් හෝල් නම් ඇමෙරිකා තාරකා විද්යාඥයා, මෙම චන්ද්රයන් දෙදෙනා පළමු වරට සොයා ගත්තේ ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි එක්සත් ජනපද නාවික හමුදා නිරීක්ෂණාගාරයේ ඇති දැවැන්ත දුරේක්ෂයක් ආධාරයෙනි.
ග්රීක පුරාවෘත්තවලට අනුව, ෆෝබෝස් සහ ඩීමෝස් යනු ග්රීක යුද්ධයට අධිපති ඒරීස් (Ares) දෙවියන්ගේ සහ ආදරයට අධිපති ඇෆ්රොඩයිට් (Aphrodite) දෙවඟනගේ පුතුන්ය. ඉංග්රීසියෙන්, අඟහරු හැඳින්වෙන්නේ මාර්ස් (Mars) යනුවෙනි. රෝම පුරාවෘත්තවල මාර්ස් යනුවෙන් හැඳින්වෙන්නේ ද යුද්ධයට අධිපති ඒරීස් (Ares) ය. ෆෝබෝස් සහ ඩීමෝස් චන්ද්රයන් බිහිවූයේ කෙසේදැයි යන්න වසර ගණනාවක් තිස්සේ තාරකා විද්යාඥයන්ට ප්රහේලිකාවක් නැතිනම් අබිරහසක් විය.
මේ අබිරහස විසඳීමටත්, අඟහරු ගැන තවත් අලුත් තොරතුරු සෙවීමටත්, ජපාන අභ්යවකාශ ඒජන්සිය (JAXA) පසුගිය දා 'එම්.එම්. එක්ස්' (MMX - Mars Moons Exploration) යන නමින් නම් කළ ප්රබල රොබෝ අභ්යවකාශ ගවේෂණ යානයක් පිටත් කර හැරියේය. MMX යානයේ ප්රධානම අරමුණ, පළමුවෙන්ම අඟහරු ආසන්නයට ගොස් පසුව ෆෝබෝස් චන්ද්රයා මතට ගොඩබෑමක් කර, එහි මතුපිට පස් සහ දූවිලි ස්වල්ප එකතු කරගෙන ආපසු පෘථිවියට අරගෙන ඒමය.
මේ මෙහෙයුම සාර්ථක වුණොත්, අඟහරු ග්රහයාගේ චන්ද්රයකුගෙන් පස් සාම්පලයක් පෘථිවියට අරන් එන පළමු අවස්ථාව මෙය වනු ඇත. ජපාන විද්යාඥයන් මීට පෙර අවස්ථා දෙකකදී ග්රහකවලට රොබෝ යානා යවා, දූවිලි සහ පස්ල සාම්පල පෘථිවියට ගෙන්වා ගෙන ඇත. එහෙයින් මෙම මෙහෙයුම ද සාර්ථක වනු ඇත.
ජපාන අභ්යවකාශ ඒජන්සිය, MMX යානය රැගත් රොකට්ටුව උඩු ගුවනට විදීම සිදු කළේ පසුගිය ඔක්තෝබර් 19 වැනිදාය. ඒ, ජපානයේ තනෙගෂිමා අභ්යවකාශ මධ්යස්ථානයේ සිටය. MMX යානය ඵෘවි කක්ෂයට තල්ලු කිරීම සහ අභ්යවකාශයට මුදා හැරීම සිදු කළේ ජපානය සතු නවීන තාක්ෂණයෙන් නිපදවන ලද ප්රබල 'H3' රොකට්ටුවක් ආධාරයෙනි.
පෘථිවි කක්ෂයට ගිය MMX යානය, ඊට ලබා දුන් උපදෙස් අනුව රොකට්ටුවෙන් මිදී අඟරු බලා ගමන් ආරම්භ කළේය. MMX අභ්යවකාශ යානය, ලබන වසරේ එනම් 2027 වසරේ අගෝස්තුවේදී අඟහරුගේ සීමාවට ළඟා වනු ඇත. අඟහරුට සමීප වීමෙන් පසු යානය පළමුවෙන්ම ඩීමෝස් චන්ද්රයාව පරීක්ෂා කරලා අධ්යයනය කරනු ඇතැයි පැවැසෙයි. ඉන්පසු යානය තම ප්රධාන ඉලක්කය වන ෆෝබෝස් චන්ද්රයා දෙසට ගමන් කිරීමට නියමිතය.
ෆෝබෝස් චන්ද්රයා මතට යානය ගොඩබෑමට පෙර, යානය එහි භූමිය පරීක්ෂා කිරීමට කුඩා රෝවරයක් (Rover) ෆෝබෝස් මතට හෙළීමට සැලසුම් කර ඇත. ඒ විශේෂිත ක්රමයකට පැරෂූට් ආධාරයෙනි. කුඩා චන්ද්රයෙක් මතට රෝවරයක් පතිත කරවීම සිදු කරන පළමු අවස්ථාව වනු ඇත්තේ ද මෙයයි. එමෙන්ම එය ලේසි පහසු කටයුත්තක් වන්නේ ද නැත. හේතුව ෆෝබෝස් චන්ද්රයාට ලොකු ගුරුත්වාකර්ෂණ බලයක් නොතිබීමය.
මෙහිදී MMX යානය, මවු යානයක් ලෙස ක්රියාත්මක වෙයි. රෝවරයක් යනු රෝද සහිත රොබෝ යානයකි. මෙයට එහෙමෙහෙ යෑම කළ හැකිය. කුඩා රෝවරය, ෆෝබෝස් චන්ද්රයා පරීක්ෂා කර බලා MMX යානයට ගොඩබෑමට සුදුසු ස්ථානයක් තෝරා දෙනු ඇත. MMX මවු යානය ෆෝබෝස් මතට ගොඩබසින්නේ රෝවරයෙන් ලැබෙන උපදෙස් අනුවය. ඉන්පසු MMX යානය, ඊට සම්බන්ධ යාන්ත්රික අතක් සහ විශේෂ උපකරණ දෙකක් භාවිත කරලා ෆෝබෝස්ගේ පස් සහ දූවිලි සූරා එකතු එක් රැස් කර ගැනීම සිදුවනු ඇත.
යානය පෘථිවියට ආපසු අරගෙන එනු ඇත්තේ පස් ග්රෑම් 10ක් වැනි ඉතා කුඩා ප්රමාණයකි. ඒත් එහි වටිනාකම කොතරම්දැයි කීමට නොහැකි බව විද්යාඥයෝ පැහැදිලි කරති. එකතු කරගන්නා පස් සාම්පලය කුඩා කැප්සියුලයක තැන්පත් කෙරේ. ආපසු පෘථිවියට පතිත කරනු ඇත්තේ මෙම කැප්සියුල කොටසය. ඒ, 2031 දීය. මෙම කැප්සියුලය දකුණු ඕස්ට්රේලියාවේ පිහිටි වුමෙරා කාන්තාරයට ආරක්ෂිතව පතිත කෙරේ. ඒ, පැරෂූට් ආධාරයෙනි.
ලුසිත ජයමාන්න
BBC ඇසුරිනි

